දත් නරක් වන්නේ අපේම වරදින්
දත ආයුධයක් කර ගැනීම
පොප් කෝන් බෑගය, චොකලට් පැකැට්ටු දවටනය ඉරීමට, නිය ආලේපන බෝතලය විවෘත කිරීමට ආදී බොහෝ ක්‍රියාකාරකම්වලට ඔබ කී වරක් නම් දත් යොදා ගන්නවාද? දත් සෑදී ඇත්තේ ආහාර සැපීමටය. මෙවැනි දුෂ්කර කාර්යයන් කිරීමට නොවේ. දත් ආයුධයක් කර ගැනීමේදී දත් අගිසි කැඩීමට, ඉරි තැලීමට පුළුවන. ඒ නිසා යමක් මුවට ගැනීමට පෙර එයින් ලැබෙන නරක විපාකය ගැන සිතන්න.
දත මිරිස් ගලක් කර ගැනීම
කෝපයට පත් වූ විට දත් මිටි කෑම සමහරුන්ගේ සිරිතකි. කුලෑටි කමක් ඇති වූ විට, සාංකාවට, කාංසාවට පත් වූ විටද දත් මිටි කන්නන් සුලබය. රාත්‍රියට නින්දෙන් දත් මිටි කන්නෝද සිටිති. පුරුද්දට වාගේ එවැනි දෙයක් කරනවා නම් දන්ත වෛද්‍යවරයා දත් ආරක්ෂකයක් (මවුත් ගාඩ්) පළඳින ලෙසට ඔබට අවවාද කරනවා නිසැකයි.
කෙඳි රළු දත් බුරුසු තෝරා ගැනීම
සමහරු සිතන්නේ කෙඳි රළු දත් බුරුසුවලින් මැදීමේදී දත්වල බැඳී ඇති මැලියම් හොඳින් පිරිසුදු වෙනවා කියායි. එහෙත් ගොරෝසු කෙඳි සහිත බුරුසුවෙන් ඉතා තදින් දත් මැදීමේදී හානි රැසක් සිදුවෙයි. වැඩිහිටියන්ගේ විදුරුමස් හා දත් අතර ඇති ශක්තිමත් බැඳීම වයසත් සමඟ දුර්වල වෙයි. සංවේදීතාව වැඩි වේ. රළු කෙඳි සහිත දත් බුරුසුවෙන් දත් මැදීමේදී එනැමලය පහසුවෙන් ඛාදනය වේ. දත් සංවේදී වේ. දිරායාමට මඟ පෑදෙයි. දත් මැදීමට වඩාත් සුදුසු මෘදුත් නැති රළුත් නැති දත් බුරුසුය.
දත් නොමැදීම සහ දත් අතර රැඳී ආහාර කැබැලි ඉවත් නොකිරීම
ඇතැමුන් දත් මදින වාර ගණන ප්‍රමාණවත් නැත. දිනකට දෙවරක් දත් මැදීම අත්‍යවශ්‍යය. මාස තුන හතරකට වරක් දත් බුරුසුව මාරු කළ යුතුය. දත් අතර රැඳී කුණු ඉවත් කිරීම (ඩෙන්ටල් ෆ්ලොසිං) ඉතා වැදගත්ය. එය බොහෝදෙනෙකු නොකරන දෙයකි. සැල්දිරි, ඇපල්, පෙයාර්ස්, කැරට් සැපීමේදී මුඛයේ ඛේඨය වැඩි වේ. දන්ත සෞඛ්‍ය සුරැකීමට ආධාර වෙයි. දත් දිරායාම වළකී. කෝපි, තේ, තද පැහැ සෝඩා වර්ග, පලතුරු යුෂ පානය කිරීමේදී දත්වල කහට බැඳෙන අතර වියපත් වෙනවිට කහට ගතිය වැඩි වේ. ඒ නිසා එවැනි පාන ගත් පසු මුව හොඳින් සෝදන්න. කහට බැඳෙන පලතුරු කෑ විටද මුව සේදීමට අමතක නොකළ යුතුයි.
ශක්තිජනක පාන බොහෝමයක් දත්වලට හානිකරය. එවැනි පාන ගත් පසු මුව සේදීමෙන් හානිය අවම කරගත හැකියි. සුදෝ සුදු දත් දෙපෙළෙකට ඇලුම් නොකරන කෙනෙකු නැති තරම්ය. අද වෙළඳපොළේද දත් සුදෝ සුදු කරන දන්තාලේප පවා තිබේ. එහෙත් දත් සුදු කිරීමට ගන්නා ඇතැම් රසායන දත්වලට සහ විදුරුමස්වලට හානිකරය. ඇතැම් රසායන පිළිකා කාරක බව සමහර පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. සංවේදී දත් ඇති අය දත් බ්ලීච් කිරීමට යාමේදී දත් වඩාත් සංවේදී වේ. ප්‍රදාහයන් ඇති වී දිරායාමට තිබෙන ඉඩ වැඩි වේ.
චම්පිකා දීපානි රණසිංහ