හඳුනා ගැනීමට අපහසු පපුවේ ඇතිවන පුස් හෙවත් ෆන්ගස්


කැස්ස, සෙම, උණ, හුස්ම ගැනීමේ අපහසුව ආදී පෙනහලු ආශි‍්‍රත එසේ නැතිනම් ස්වසන පද්ධතියේ රෝගී තත්ත්වයක් ලෙස ඇඟවීමක් කරනුයේ බැක්ටීරියා හෝ වෛරස හෝ යන රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ය. බොහෝවිට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමේදී පවා ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට වෛද්‍යවරු පවා යොමුවෙති. එහෙත් මෙහිදී සත්‍ය වැරදිකරුවා වන්නේ දිලීර ගණයේ රෝග කාරකයෙක් බව සොයා ගැනෙනුයේ මඳ කලක් ගත වූ පසුවය.

දිලීර වඩා සුලබව හැඳින්වෙන්නේ පුස් හෙවත් “ෆන්ගස්” ලෙසය. විවිධාකරයේ දිලීර බීජ හෙවත් කෝෂ්ඨ අප අවට සැරිසරයි. අපගේ ප්‍රතිශක්ති පද්ධතියට දිනපතාම සිදු කිරීමට පැවරී ඇති ප්‍රධාන කාර්යභාරයක් වනුයේ වාතයේ සැරිසරන මේ දිලීර කෝෂ්ඨ හෙවත් බීජ ශරීරය තුළට, විශේෂයෙන් පෙනහලු තුළට ඇතුළුවීම වැළැක්වීමය. එහෙත් අපගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වූ මොහොතක ස්වසන පද්ධතිය තුළට වැදී එහි පැල පදියම් වී දිලීර ආසාදනයක් ඇති කිරීමට මෙම රෝග කාරක සමත්ය.

දියවැඩියාව, වකුගඩු ආබාධ සඳහා හෝ වෙනත් රෝගාබාධ සඳහා දීර්ඝකාලීනව රසායනික ඖෂධ ලබන අය, කවර හේතුවකට හෝ කෝර්ටිකෝස්ටෙරොයිඩ ඖෂධ ලබන මෙන්ම ශරීරයට බද්ධ කළ ආගන්තුක අවයවයක් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට ඖෂධ ලබන අය තුළ මෙන්ම වියපත් අය තුළද දුර්වල ප්‍රතිශක්ති පද්ධතියක් පැවතිය හැකිය. එහෙයින් දිලීරමය ස්වසන රෝග ඇතිවීමේ වැඩිම අවදානමක් පවතිනුයේ මේ අය හටය. එහෙයින් දිලීරමය පෙනහලු රෝග දක්වන ලක්ෂණ ගැන මෙන්ම එවැනි අවදානම් පවතින්නේ කවර ස්ථානවලද යන්න දැන සිටීම වැදගත්ය.

දිලීරමය ආසාදනයක් ඇති කරන සුලබ දිලීර අතර “බ්ලස්ටෝමයිසිස් ඩර්මටයිටයිඩිස්” පෙරමුණේ වෙයි. කාබනික ද්‍රව්‍ය දිරා යමින් පවතින තෙක් පොළවෙහි හමුවන මෙම දිලීරය එතැන් අවුස්සන විට මෙන්ම හාරන විට (ගොවිතැන් හා ඉදිකිරීම් සඳහා) ඇවිස්සෙයි. සුලබව එකතුවෙන මේ දිලීර බීජ පෙනහලු තුළට ඇතුළු වූ විට බ්ලාස්ටොමයිකෝසියාව නම් දිලීරමය ආසාදන ඇති කිරීමට සමත් වෙයි.

කාන්තාරමය ස්වභාවයක් සහිත වියළි ප්‍රදේශවල පසෙහි හා වැල්ලෙහි වෙසෙන කොක්සිඩයිඩ්ඩෝමයිකෝසියාව නම් දිලීර රෝගය ඇති කරනුයේ කොක්සිඩයිමයිඩස් ඉම්මයිටිස් හෝ කොක්සිඩයිමයිඩස් පොසාඩාසි නම් දිලීරය කාන්තාරමය වැලි පසෙහි පවතින මේ දිලීර රෝග රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට අපගේ සංක්‍රමණික සේවකයන්ට හැකිය. මෙම දිලීරද පුද්ගලයන්ගේ ස්වසන පද්ධතිය තුළට රිංගා ගනුයේ ඔවුන් ජීවත් වන පරිසරයෙහි පස ඇවිස්සීම හා සමඟය.

තවත් දිලීරමය ස්වසන රෝගයක් ලෙස සැලකෙන හිස්ටොප්ලැස්මෝසියාව නම් රෝග තත්ත්වය ඇති කරනු ලබන්නේ හිස්ටෝප්ලාස්මා කැප්සියුලේටම් නම් දිලීරය. මෙම දිලීරයෙහි බීජ හෙවත් බීජාංශූ කුරුළු සහ වවුල් අශුචි සමඟ පවතියි.

විශේෂයෙන් කුකුළු ගොවිපල, කුකුළු කූඩු, කුරුළු කූඩු භාවිතයෙන් අත් හරින ලද පැරණි ගොඩනැගිලි, ගල් ගුහා මෙන්ම ගංගා නිම්න ආදියෙහි මෙම දිලීර රෝගය පැතිරීමේ අවදානම පවතියි.

දිලීර රෝග බොහොමයකදී පැවතිය හැකි එකම රෝග ලක්ෂණය මඳ උණ හෝ උණ වැනි හෝ ලක්ෂණය.

එසේ නැතහොත් කිසිදු රෝග ලක්ෂණයක් නොපවතින තත්ත්වයකි. මෙසේ දිලීර ආසාදනයකදී රෝග ලක්ෂණ අඩු මට්ටමකින් පවතිනුයේ, අපගේ ප්‍රතිශක්ති පද්ධතියට මෙවැනි දිලීර ආසාදනයන්ට පහසුවෙන් මුහුණ දීමට හැකි හෙයිනි.

දිලීර ආසාදන, උග්‍ර වූ විට දැකිය හැකි වන්නේ සාමාන්‍ය වෛරස හෝ බැක්ටීරියා හෝ ආසාදන එනම් ඉන්ෆ්ලුවෙන්සා උණ හෝ නියුමෝනියාව ආදී රෝගයන්හිදී මතුවන ලක්ෂණමය. උණ, කැස්ස, ඇඟ සීතල කිරීම, රාත්‍රියට දහඩිය දැමීම හිසරදය, වෙහෙස මහන්සිය දැනීම, උදාසීන බව, හුස්ම ගැනිමේ අපහසුව, හන්දි කැක්කුම යනාදිය මෙවැනි අවස්ථාවකදී මතුවන ලක්ෂණ ලෙස සඳහන් කළ හැකිය.

මේ අනුව බලන විට ආසාදනය දිලීර ආසාදනයක් ලෙස වෙන්කර හඳුනාගැනීම වෛද්‍යවරයන්ට පවා අසීරුය. එහෙත් සාමාන්‍යයෙන් වෛරස හා බැක්ටීරියා ආසාදනයකදී දක්නට ලැබෙන්නේ නැති පපුවේ කැක්කුම සහ සමේ කුෂ්ට තත්ත්වයන් දිලීර ආසාදනකයදී පැවතිය හැකිය. එසේම සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනයක් හෝ වෛරස ආසාදනයක් හෝ නොපවතින තරම් දීර්ඝ කාලයක් පැවතීමද දිලීර ආසාදනයකදී දැකිය හැකිය.

දිලීර ආසාදනයකදී එය මුල් අවස්ථාවේදී මැඩ පවත්වා ගැනීමට නොහැකි වුවහොත්, එය දරුණු නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. මඳ තත්ත්වයේ උණ, ශරීරයේ බර අඩුවීම, කැස්ස, පපුවෙ කැක්කුම, ලේ තැවරුණු සෙම පිටවීම වැනි ලක්ෂණ එවිට මතුවෙයි.

මෙහි ඇති සුවිශේෂි තත්ත්වයක් වන්නේ රෝග ලක්ෂණ වරෙක උත්සන්න වීමක් තවත් විටෙක සමනය වීමක් පැවතීමය. දිලීර ආසාදනයක් නිසා ඇතිවන ළය ආසාදන වෙනත් රෝග තත්ත්වයක් ලෙස, එනම් ක්ෂය රෝගය, නියුමෝනියාව ඇතුළු වෛරසය හෝ බැක්ටීරියා ආසාදනයක් ලෙස සැලකීම නිසා රෝග විනිශ්චය පමා වීමත්, ආසාදන තත්ත්වය සුවපත් වීමට කාලයක් ගතවන බැවිනුත් දිලීර ආසාදනයක් සුව වීමට දීර්ඝ කාලයක් ගත වීම දැකිය හැකිය.

උපුටා ගැනීම දිනමිණ ආරෝග්‍යා

Share This Article

Back