අනේ මම කොටයි - කළුයි - කැතයි


තමා විසින්ම තමාව අවතක්සේරුවට ලක්කර ගැනීමත් මානසික රෝගයක්

“ඔයා ආයෙත් මහත් වෙලා, රෑට කන්න එපා අනේ...! සමහරවිට ආරෙට වෙන්න ඇති. එක්සර්සයිස් කරන්නේ නැද්ද සමහරවිට ආරේට වෙන්න ඇති, එහෙමත් නැත්නම් “බලන්නකො අනේ ඔයාගේ කෙට්ටු, කන්නේ නැද්ද, කන ඒවා කොහෙට යනවද මන්දා. මේ වැනි දේ නිතරම අහලා අහලම ඔබට කන්වල ඇඟිලි ගහගන්න තරමට හිතෙනවා ඇති. ඇත්තෙන්ම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසා බලනවිට මේ අන්ත දෙකම එනම් අධික කෙට්ටු සහ මහත එතරම් සුදුසු නොවන අවස්ථා දෙකක් වුවත් මනසට ඒවා ඇසීමෙන් සිදුවන්නේ යහපතක් නම් නොවේ. අපි කොපමණ ශරීර ප්‍රමාණයකින් යුක්ත වුවත් නිරෝගී, නිරවුල් මනසක් නොමැති වූවොත් ඉදිරියේ ඇතිවන ගැටලුවලට මුහුණ දෙන්නේ කෙසේද? මේ ඒ පිළිබඳව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුසිල් කුලතිලක සමඟ කරන ලද කතාබහක්.

අප, අප ගැන සිතා සිටින ආකාරය ඉතා වැදගත්ද? 

ඇත්තෙන්ම අප විසින් අපගේ බාහිර ස්වරූපය එසේත් නැත්නම් Self Image හෙවත් ස්වයං ප්‍රතිරූපය දකින ආකාරය ඉතා වැදගත්. මෙය හොඳ වගේම නරක ලෙසින්ද එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් වේ. එහිදී සමහර අය මම ලස්සනයි, පි‍්‍රයමනාපයි, ලස්සන සිරුරක් තිබෙනවා ආදී ලෙසින්ද තවත් ඇතැම් පිරිසක් “මම කැතයි, මහතයි, මිටියි, කළුයි ලෙසින්ද සිතා සිටිය හැකියි. ඒ වගේම යම් අයෙකුගේ සමාජ තත්ත්වයද බාහිර ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට හේතුවන අතර එය පෞරුෂත්වයේද වැදගත් සාධකයකි.

විවිධ පුද්ගලයන් විසින් ලබාදෙන වටිනාකම අනුව බාහිර පෙනුම ඉතා වැදගත්. ඒ අනුව සමාජයේ සිටින පුද්ගලයන්ගෙන් කොටසකට බාහිර පෙනුම ඉතා වැදගත් වන නමුත් තවත් සමහර පිරිසක් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වයි. තමාට ස්වභාවිකව හිමි පෙනුම පිළිබඳ සතුටු නොවන සමාජයේ බොහෝදෙනා ඒ පිළිබඳ පසුතැවෙමින් ජීවත් වන බව පැහැදිලිව දැකගත හැකියි. විශේෂයෙන් කාන්තාවන් තමාගේ මුහුණ කළුයි. රෝම වර්ධනය වැඩියි, පියයුරු කුඩායි, බර අඩු වීම වැනි හේතු නිසා නිතර පසුතැවිල්ලෙන් පසුවේ. නමුත් අවශ්‍ය වන්නේ ඒ සඳහා සුදුසු පිළියම් යෙදීමයි. එසේ තමාම තමා පිළිබඳ පසුතැවිල්ලෙන් සිටින අවස්ථා මොනවාදැයි විමසා බලමු.

අනෙකුත් අය ඔබ පිළිබඳ විවිධ ආකාරයට සිතනවා යැයි ඔබ විසින් සිතින් මවා ගැනීම

අන් අය තමා ගැන සිතනවා යැයි සිතන ආකාරයක් මවාගෙන විවිධ තීරණ වලට එළඹේ. නමුත් මෙසේ සිතීම ඒ ආකාරයෙන්ම නොපිළිගෙන වෙනත් ආකාරයකට සිතුවිලි ඇතිකර ගත යුතුයි. උදා ලෙස “අනිත් අය මං ගොඩක් මහත යැයි සිතා සිටීම” කෙසේ වෙතත් අනෙක් අය ඔබ ගැන සිතනවා යැයි ඔබට හිතෙන දේට ඔබ විසින්ම මනසට අභියෝග කළ යුතුයි.

Body Dysmorphic Disorder

මෙහිදී නාසයේ, තොලේ ආදී කුමන ස්ථානය හෝ වේවා සුළු ඇදයක් වෙනසක් (පියවි ඇසට පවා නිරීක්ෂණය කළ නොහැකි) නිසා මෙවැනි රෝගවලින් පෙළෙන අය පසුතැවේ. එය කායිකව ඇතිවන රෝගයක් නොවන අතර හුදෙක් මනසේ පමණක් ඇති වන්නකි. ඇතැම් අවස්ථාවලදී මෙවැනි අය තමා අසලින් දුර්ගන්ධයක් ඇති වනවා යැයිද සිතා සිටියි. මේ සඳහා සරලව සාර්ථක මානසික ප්‍රතිකාර ලබා දිය හැකි අතර පමණට වඩා සිතීම නිසා අනවශ්‍ය කායික ගැටලු පවා ඇතිකර ගනියි.

Social Phobia සමාජභීතිකාව

මෙය ඉතා සුලබ මානසික තත්ත්වයක්. මෙහිදී අදාළ පුද්ගලයා තමාගේ බාහිර ස්වරූපය පිළිබඳව දැඩි අවතක්සේරුවෙන් සිතමින් පසුතැවීමට ලක් වේ. ඒ නිසා සමාජය ආශ්‍රයට, සමාජයට මුහුණ දීමට බිය වේ. මේ නිසා තම දක්ෂතා හැකියාවන් පවා සඟවා තබා ගන්නා මොවුන් ජිවිතය තුළ අදාළ ඉලක්ක කරා යොමු නොවේ. ඒ වගේම සමාජ සබඳතා ගොඩනඟා ගැනීමේ දුර්වලතා නිසා විවාහයට පවා නොපෙළඹිය හැකියි.

විෂාදය

මෙම තත්ත්වයේදීත් තමා විසින් තමා පිළිබඳව අවතක්සේරුවෙන් සිතීම, ආහාර අරුචිය ඇඟ කෙට්ටු වීම පමණක් නොව ඇතැම් අවස්ථාවල ශරීරය මහත්වීමද මෙවන් රෝගීන්ගෙන් දැකගත හැකි ලක්ෂණයි.

තමා විසින් තමා පිළිබඳ අවතක්සේරුවෙන් සිතීම (Low Self esteem)

මෙවැනි විටෙකදී අපි අප පිළිබඳව සිතන්නේ අල්ප වශයෙන් ඒ වගේම සමාජයේ අන් අය සමඟ සන්සන්දනය කර තමාගේ රූපය ශරීර ප්‍රමාණය හෝ හැකියාවන් පිළිබඳව අවතක්සේරුවෙන් සිතීමට පෙළඹේ. මම එයා තරම් ලස්සන නෑ. එයා තරම් හැඩ නැහැ ආදී වශයෙන් සිතා බාහිර රූපය ගැන සිතා පසු තැවේ. මේ තත්ත්වයන් ජීවිතයේ බිඳ වැටීම්වලදී දෙගුණ තෙගුණ වේ. නමුත් එය තාවකාලිකව ඇති වේ. නමුත් දිගින් දිගටම මෙය පුරුද්දක් ලෙස කරනවා නම් එය ඉතා බරපතළ තත්ත්වයක්. නමුත් සුදුසු මනෝ උපදේශක හෝ මනෝ වෛද්‍යවරයෙක් හමුවීමෙන් රෝගය වළක්වා ගත හැකියි.

Anorexia Nervosa සහ Bulimia Nervosa

මෙම තත්ත්ව දෙක ලංකාව තුළ බහුලව දැකගත නොහැකි වේ. මින් පළමු අවස්ථාව මඟින් හැඳින්වෙන්නේ ඉතා කෙට්ටු ශරීර තිබෙන අය තමා මහත වැඩියැයි සිතා අධික කෑම පාලනය, ව්‍යායාම, වමනය කිරීම, ආහාර විසි කිරීම ආදී අසාමාන්‍යතා සිදු කරයි. ඔවුන් කෙතරම් කෙට්ටු වුවත් නිතරම උත්සාහ කරන්නේ ශරීරය කෙට්ටු කර ගැනීමටයි.

දෙවැනි අවස්ථාවේ සිටින ඇතැම් පිරිස් එතරම් විශාල ශරීර ප්‍රමාණයන් නොතිබුණත් තමන් මහත වැඩි යැයි සිතයි. ඔවුන් විශාල ආහාර ප්‍රමාණයක් එකවර ලබා ගන්නා අතර පසුව ඒ පිළිබඳ පසු තැවී තමාගේ ඇඟිල්ලක් උගුරට දමා නැවත ඒවා වමනය කරයි.

මෙවැනි මානසික තත්ත්ව පිළිබඳව සමාජයට ලබාදිය හැකි පණිවිඩය

ඉහත පැහැදිලි කළ ආකාරයේ කුමන හෝ ගැටලුවක් තමාට තිබේ නම් මනෝ උපදේශන හෝ ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. තමාගේ සාමාන්‍ය ස්වරූපය තමා විසින්ම අලුතින් සිතීමට පටන් ගත යුතුයි. ඒ සඳහා තමාගේ මනස ශක්තිමත් කරගත යුතුයි. තමාට ලැබී තිබෙන රූපය සිනමා තාරකාවන් එසේත් නැත්නම් නිරූපන ශිල්පීන්ට සන්සන්දනය නොකළ යුතුයි. තමාට උපතින් ඇති වී තිබෙන රූපය හැඩරුව පිළිබඳව ආඩම්බරයක් ඇති කරගත යුතු අතර ඒ පිළිබඳව නිතර පසුතැවිලි ඇතිකර ගත යුතු නොවේ. කෙසේ වෙතත් මේ කාර්ය තමාට තනිව කර ගැනීමට නොහැකි නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. එමඟින් ඔබගේ පෞරුෂයට වැදගත් වන බාහිර ස්වරූපය නොඑසේ නම් Self Image ඉතා ප්‍රියමනාප එකක් බව පත් කර ගත හැකි වේවි.

උපුටා ගැනීම දිනමිණ ආරෝග්‍යා

Share This Article

Back