මට අපේ ගෙදර අපායක් වෙලා තිබුණෙ

දිලිනි ගැන විස්තර මුලින්ම අහනකොට මට ඒක විශ්වාස කරන්නත් අමාරු වුණා. ඕක මං ගැන මුලින්ම දැන ගන්න හැමෝම කියන දෙයක්. ඉතින් ඔයාටත් එහෙම හිතෙන එක ගැන මං පුදුම වෙන්නෙ නෑ. 

* දිලිනි ඔයාට හිමි වෙලා තිබුණ සැප සම්පත් හැම එකක්ම පරිත්‍යාග කරල මේ විදිහට ඇවිත් ඉන්නෙ ආදරය හින්දද? 

මට අපේ ගෙදර අපායක් වෙලා තිබුණෙ. මම ඒකෙන් නිදහස් වෙන්න හිතාගෙන ආපු ගමනක් මේක. 

* කවුද ඔයාගෙ මහත්තයා? 

ප්‍රසන්න. මං ප්‍රසන්න එක්ක යාළු වුණෙත් ඉක්මනින් කසාද බැන්දෙත් හදිසියේ ගත්තු දැඩි තීරණයකට අනුව. 

* ඔයා දැන් පසුතැවෙනවද ප්‍රසන්නව බැඳපු එක ගැන? 

අ‍පොයි නෑ. 

* එහෙම හදිසි තීරණයක් ගන්න හේතුව මොකක්ද? 

අපේ පවුලෙ ඉන්නෙ මායි අයියයි විතරයි. අම්මටයි තාත්තටයි හොඳට සල්ලි තිබුණා. ඒත් අපි පුංචි කාලෙ ඉඳලම අපේ අම්මල අතරෙ ගොඩක් අඬදබර තිබුණා. මායි අයියයි ගෙදර හිටියෙ හැම තිස්සෙම බයෙන්. ඒ වගේම හරි නොසතුටින්. පුදුමාකාර පීඩනයක් අපට තිබුණා. 

* අම්මයි තාත්තයි නිතර අඬදබර ඇති කර ගත්තු හේතුව මොකක්ද? 

පුංචි කාලෙදී අපට ඒවා එච්චරම තේරුණේ නෑ. ටිකක් ලොකු වෙනකොටයි ඒවා අවබෝධ කර ගන්න අපට පුළුවන්කම ලැබුණෙ. අපේ තාත්තට එක එක අනියම් සම්බන්ධතා තිබුණා. තාත්තා ගොඩක් ගෑනු ආශ්‍රය කරපු කෙනෙක්. ඒත් අපේ අම්මා අහිංසකයි. මේ තත්ත්වය උඩ තමයි ගෙදර නිතර ගැටුම් ඇති වුණේ. 

* තාත්තා ඔයාලට ආදරේද? 

මටවත් අයියටවත් විශේෂයෙන් ආදරය කළේ නෑ. ඒත් සල්ලි ඉල්ලන කොට ඕන තරම් දුන්නා. තාත්තා හිතන්න ඇති දරුවෙකුට තාත්තා කෙනෙකුගෙ යුතුකම ඒක විතරයි කියලා. තාත්තා අපට සල්ලි දුන්නට තාත්තගෙ වැඩ නිසා අම්මා විඳපු හිත් පීඩාව ඇස් දෙකෙන්ම දැකපු මාත් අයියාත් කවදාවත් තාත්තට ආදරේ කළේ නෑ. අපේ හිත යට තාත්තා ගැන තිබුණෙ වෛරයක්. 

* ඔය ප්‍රශ්න නිසා තාත්තයි අම්මයි දික්කසාද වුණේ නෑ? 

අම්මා ඒකට කැමති වුණේ නෑ. දික්කසාද වුණොත් අපට තාත්තා කෙනෙක් නැති වෙයි කියල අම්මා ඒකට කැමති වුණේ නෑ. අනික් කාරණේ තාත්තාට හොඳට සල්ලි තිබුණා. අම්මාට එහෙම නෑ. අම්මයි තාත්තයි වෙන් වුණොත් අපි දෙන්නට සැප දෙන්න අම්මට බැරි වෙයි කියලත් අම්මගෙ හිතේ ලොකු බයක් තිබුණා. 

* ඒ හින්දා අම්මා විඳවමින් හිටියා? 

ඔව්. ඔය අතරෙ වැඩිදුර ඉගෙන ගන්න තාත්තා අයියව එංගලන්තෙට යැව්වා. අයියා මාව දාලා ගියේ ලොකු දුකකින්. ‘අම්මව හොඳට බලා ගන්න නංගියෙ’ කියලයි අයියා හැමදාමත් මට කිව්වෙ. 

* ඊට පස්සෙ? 

අපේ අම්මා අසනීප වෙලා හිටි හැටියේම නැති වුණා. අපට හිතා ගන්නවත් බැරි වුණා මොකක්ද මේ එකපාරටම වුණේ කියලා. කොහොම හරි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තමයි හෙළි වුණේ අපේ අම්මගෙ ඇඟ ඇතුළෙ පිළිකාවක් වර්ධනය වෙලා ලොකුවටම ඒක පැතිරිලා කියලා.  

* අම්මා නැති වුණාට පස්සෙ ඔයයි තාත්තයි ගෙදර තනි වුණා? 

මම තනි වුණා මිසක් තාත්තා නම් තනි වෙන්න නැතිව ඇතිනේ. හැබැයි තාත්තා වෙන ගෑනු කෙනෙක්ව ගෙදරට ගෙනාවෙ නම් නෑ. ඒත් මගෙන් ඉක්මනට නිදහස් වෙන්න බැලුවා. 

* ඉතින්? 

මම කිසිසේත්ම කැමති වුණේ නෑ තාත්තා හොයලා දෙන කෙනෙක් කසාද බඳින්න. මට තාත්තා ගැන කිසිම විශ්වාසයක් තිබුණෙත් නෑ. 

* ඔයාට ඒ කාලෙ පෙම්වතෙක් හිටියද? 

මට ප්‍රසන්නව හම්බ වුණේ ඉස්කෝලෙ යන කාලෙදිමයි. එයා මට අමුත්තෙක් වුණේ නෑ. හේතුව මගේ හොඳම යාළුවා අයේෂාගෙ අයියා එයා. 

* දිලිනියි එයයි අතරෙ ගොඩක් කලක ඉඳල සම්බන්ධය තිබුණද? 

නෑ.. එහෙම සම්බන්ධයක් තිබුණෙ නෑ. අයේෂලා සල්ලි තිබුණු අය නෙමේ. ඒත් හොඳ ගතිගුණ තිබුණ. එයාලගෙ අම්මයි තාත්තයි බොහොම සාමකාමී පවුල් ජීවිතයක් ගත කළා. ඒගොල්ලන්ගෙ ගෙදර ගියාම මං හරි ආසාවකින් ඒ කාලෙ ගත කළේ. අපේ ගෙදර කොච්චර පහසුකම්, කෑම බිම, යාන වාහන ඔය සේරම තිබුණත් මට ඒ සතුට නම් මතක ඇති කාලෙකින්වත් දැනිල තිබුණෙ නෑ. 

* ඔයයි ප්‍රසන්නයි අතරෙ සම්බන්ධයක් ඇති වුණේ කොහොමද? 

මමමයි අයේෂාට කිව්වෙ. මං ගැන හැමදේම අයේෂා දැනගෙන හිටියා. විශේෂයෙන්ම ගෙදර ප්‍රශ්න හින්දා ගොඩක් මානසිකව පීඩා විඳින බව අයේෂා දන්නවා. එයා කැමති වුණා මාව එයාගෙ නෑනා කර ගන්න. ඒත් අයේෂා දුක් වුණේ එයාලගෙ අයියාට මට සැප සම්පත් දෙන්න බැරි හින්දයි. නමුත් මට සතුට මිස කිසිම සැපක් ඕන වුණේ නෑ. මම හිතුවක්කාරකමක් කර ගත්තොත් තාත්තගෙන් මට ලැබෙන්න තියෙන දේවල් පවා නැති වෙන බව මං දැනගෙන හිටියා. ඒත් මං මේ හැම දෙයක්ම අයියාට කෝල් කරලා කිව්වා. 

* අයියා මොකද කිව්වෙ? 

අයියාත් අයේෂලාව දන්නවා. එයා විරුද්ධ වුණේ නෑ මේකට. මේ කාලෙ වෙද්දි තාත්තා මට ප්‍ර‍පෝසල්ස් හොයමින් හිටියෙ. ඒ හින්දම මම කාටවත් නොකියා මගෙ රත්තරන් බඩු, බැංකු ‍පොත් ළඟ තිබුණු සල්ලි ටික, ඇඳුම් මේ හැමදේම අරගෙන ප්‍රසන්නත් එක්ක ගියා. 

* ඔයාලා දෙන්න ඉන්නෙ ප්‍රසන්නගෙ මහ ගෙදර? 

ඔව්. ඒ ගෙදර එක කාමරේක අපි ඉන්නවා. අනික් කාමරේ අම්මයි තාත්තයි අයේෂයි ඉන්නවා. අයේෂා නම් ළඟදි බඳීවි. 

* ඔයාගෙ තාත්තගෙ ප්‍රතිචාර කොහොමද? 

තාත්තා මාත් එක්ක ලොකු වෛරයකින් හිටියෙ. ඒත් අයියා මුල ඉඳල හැම දෙයක්ම තාත්තාට විස්තර කරලා කියල තියනවා. ඊට පස්සෙ තාත්තා ඒ ගැන කල්පනා කරන්න ඇති. තාත්තා අයියාට කියල තියනව එයාගෙ දේපළවලින් මගෙ කොටස මට පවරල දෙනව කියලා. 

* එහෙම නම් දිලිනිගෙ ප්‍රශ්න ඉවරයි? 

මං හිතන්නෙ නෑ. 

* ඇයි ඒ? 

තාත්තා දැන් වෙන ගෑනු කෙනෙක් එක්ක ජීවත් වෙනවා. අපට යුතුකම් ඉෂ්ට කරන්න ලැබෙන්නෙ ඒ ගෑනු කෙනාගෙ කැමැත්ත අකමැත්ත මත නේද?  

ඉන්දු පෙරේරා 

උපුටා ගැනීම ලක්බිම පුවත්පත

Share This Article

Back