දරුවා බිහිවුණේ අඩුමාසෙන්
ජීවීන්ගේ පැවැත්ම සඳහා බොහෝ සාධක අත්‍යවශ්‍ය වන අතර ජලය වාතය, ආහාර ඒ සඳහා ප්‍රධාන වශයෙන් උපකාරී වේ. දරුවෙකු කුස තුළ සිටින විට පවා ඒ අවශ්‍යතා මවගෙන් සපුරා ගනු ලබයි. නමුත් මවගේ කුස තුළ තිබෙන ආරක්ෂාව මෙලොවට දරුවා බිහිවන තුරුත් පවතිනවාදැයි තරමක් දුරට විමසා බැලිය යුතු කරුණක්. යම් අවස්ථාවක දරුවා නියමිත කාලසීමවට පෙර එනම් අඩු මාසයෙන් බිහි වුවොත් එහිදී මුහුණ දීමට සිදුවන්නේ තරමක් අවදානම් සහගත තත්ත්වයකටයි. මේ ඒ පිළිබඳව ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පෙරේරා සමඟ කරන ලද කතා බහක්.
දරුවන් අඩු මාසෙන් බිහිවීම යනු කුමක්ද?
සාමාන්‍යයෙන් දරු ගැබක් සම්පූර්ණයෙන්ම මේරීමට සති 40ක් පමණ ගත වේ. නමුත් මෙම නියමිත කාලසීමාවේ සිට සති 3ක් ඉදිරියට හෝ සති 3ක් පිටුපසට දරුවන් බිහිවීම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි අවස්ථාවකදී බියක් ඇති කරගත යුතු නොවේ. නමුත් සති 37න් පසුව අඩුවන දින ගණන අනුව අදාළ මවට හා දරුවාට මුහුණ දීමට සිදුවන ගැටලු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වේ. සාමාන්‍යයෙන් ළදරුවෙක් අඩු මාසෙන් බිහිවීම ලෙසින් සලකන්නේ සති 24 සිට 37 දක්වා කාලයයි. යම් අවස්ථාවක දරුවෙක් සති 34 ට පෙර බිහි වූවොත් ඒ දරුවා නොමේරූ දරුවෙක් ලෙසින් හැඳින්වේ. ඇතැම් දරුවන් සති 24 ට පෙර බිහි වූවොත් එය ගබ්සා වීමක් ලෙසින් හැඳින්වේ. ඒ වගේම සති 32,27,26,25 කාලය තුළ බිහිවන දරුවන් ඉතාමත් නොමේරූ දරුවන් ලෙසින් ද හඳුන්වනු ලැබේ.
මෙසේ දරුවන් බිහිවීමට හේතු මොනවාද?
මෙහිදී දරුවන් අඩු වයසින් බිහි වීමට මව සහ දරුවා යන දෙදෙනා සම්බන්ධයෙන්ම හේතු පැවතිය හැකියි. නිවුන් දරුවන් සිටින විට නොමේරූ දරු උපත් වැඩිවිය හැකි අතර බඩේ තිබෙන වතුර ප්‍රමාණය වැඩිවීම නිසා ගර්භාෂය ඇදෙන ස්වභාවය වැඩි වීමෙන්ද අඩු මාසෙන් දරුවන් බිහිවීමේ අවදානමක් ඇති කරයි.
ඊට අමතරව වෝටර් බෑගය (Water Bag) සිදුරු වීමෙන් එහි තිබෙන තරල පිටවීම නිසාත් දරුවා බිහිවිය හැකියි. ඒවගේම දියවැඩියාව නිසාත් උල්බ තරලය වැඩි වන අතර ගැබ්ගෙල, ගර්භාෂය ආශ්රිත ගැටලු නිසාත් අඩු මාසයෙන් දරුවන් බිහිවිය හැකියි.
මෙහිදී ගැබ්ගෙල ආශ්‍රිතව ඇතිවන ප්‍රධාන දුර්වලතාව ලෙස ගැබ්ගෙලේ බුරුල් බවද ගර්භාෂයේ අසාමාන්‍යතා ද ගැබ්ගෙල හා යෝනි මාර්ගය ආශ්රිත බැක්ටීරියා ආසාදනයද මීට බලපාන තවත් හේතුවක්. තවත් සමහර අවස්ථාවල හේතුවක් නොමැතිව වුවද දරුවන් අඩු මාසෙන් බිහිවිය හැකියි. ඇතැම් අය වෙහෙසීම නිසා දරුවන් අඩු මාසෙන් බිහිවන බව පවසයි. නමුත් එහි කිසිදු සත්‍යතාවක් ඇත්තේ නැහැ.
එසේම පෙරදී අඩු මාසයෙන් දරුවන් බිහි වූණොත් ඊට පසුව බිහිවන දරුවන්ද අඩු මාසයෙන් බිහිවිය හැකියි. කෙසේ වෙතත් මෙවැනි ගැටලු ඇති කාන්තාවන්ට අමතර විවේකය ලබාදීමෙන් ගර්භාෂයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි වී ඇතිවන ගැටලුකාරී අවස්ථාවට සහනයක් ලබා ගත හැකියි.
මෙවැනි අවස්ථාවක දරුවාට ඇතිවන ගැටලු
මෙවැනි දරුවන්ගේ සියලුම අවයව නිසිලෙස වර්ධනය වී නොමැති නිසා ස්වාධීන පැවැත්මක්ද නොමැත. ශරීර උෂ්ණත්වය පවත්වාගෙන යාමේ ගැටලු, කිරි දිරවීමේ ශක්තිය නොමැති වීම, විෂබීජ වලට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැති වීම (ප්‍රතිශක්තිය හීනවීම) මෙහිදී ඇතිවන මූලික ගැටලු වේ. ඊට අමතර හුස්ම ගැනීම් අපහසුතා, හෘදයේ ස්පන්දනයේ අසාමාන්‍යතාද දැකගත හැකි වේ.
මෙවැනි ගැටලුවලට පිළියම් ලෙස සිදු කරන්නේ කුමක්ද?
මෙසේ බිහිවන දරුවන් ඉන්කියුබේටරය තුළට දමන අතර එහිදී දරුවාට අවශ්‍ය උෂ්ණත්වය ඇතුළු අනෙකුත් තත්ත්වයන් ලබා දේ. ඒ වගේම දරුවා කිරි නොබොනවා නම් ඒ සඳහා සේලයින් ලබා දීම, විෂබීජ නාශක ඖෂධ, පෙනහැල්ල වර්ධනය වී නැත්නම් ඒ සඳහා ඖෂධ, ඔක්සිජන් ප්‍රමාණවත් නොමැති නම් ඔක්සිජන් ද ලබාදීමට කටයුතු කරයි. සමහර දරුවන් කහ පැහැයක් ගන්නා අතර ඊට හේතු වන්නේ බ්ලිරුබීන් නැමැති ද්‍රව්‍යයි. ඒ ශරීරයෙන් පිට කිරීමට නොහැකි වන්නේ දරුවාගේ අක්මාව මෝරා නොමැති නිසාවෙනි.
වෙනත් අතුරු රෝග තත්ත්වයන් නිසා අඩු මාසෙන් දරුවන් බිහි කළ යුතුද?
දරුණු මට්ටමේ අධික රුධිර පීඩනයක් පවතින මවුවරුන්ට අඩු මාසවලින් දරුවා බිහි කිරීමට සිදු වේ. ඒ වගේම දරුවාගේ මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු නම් දරුවාව අඩු මාස වලින් බිහිකර ගැනීමට සිදුවිය හැකියි. ඊට අමතර නිවුන් දරුවන් 3,4,5 පමණ සිටින අවස්ථාවල බලපවත්වන ඇතැම් තත්ත්ව නිසාත් දරුවන් කලින් බිහිකර ගැනීමට සිදු වේ.
මේ දරුවා කලින් බිහිවීම නතර කළ හැකිද?
මෙය තරමක් අපහසු කටයුත්තක්. මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී සිටින කාන්තාවන්ට අමතර විවේකය ලබා ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ. ඒ වගේම ගැබ්ගෙල විවෘත වී තිබෙන අයට කුඩා මැහුමක් යෙදීම මඟින් මේ තත්ත්වය පාලනය කරනු ලබයි. ඒ වගේම දරුවාගේ පෙනහැල්ල වර්ධනය අඩු නම් හා යෝනි මාර්ගය ආශ්රිත ආසාදන තිබෙනවා නම් ඒ සඳහාද ඖෂධ ලබාදෙනු ලැබේ. මීට අමතරව නිවුන් දරුවන් 4,5 ක් සිටින විට කලල ප්‍රමාණය අඩු කිරීමක්ද මෙවැනි අවදානම් අවස්ථාවලදී සිදු කරනු ලබයි.
උපුටා ගැනීම දිනමිණ